ජවිපෙන් මාධ්‍යවේදීන් පහක් මරුට: ප්‍රේමකීර්ති ඝාතකයෝ මෙන්න!

jpv2

ජවිපෙන් මාධ්‍යවේදීන් පහක් මරුට: ප්‍රේමකීර්ති ඝාතකයෝ මෙන්න!” මැයින් ධර්මන් වික්‍රමරත්න විසින් ලියන ලද ඉරිදා රිවිර පුවත්පතේ 2014 දෙසැම්බර් 21 ඉරිදා පලවූ ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කල 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 26 කොටස.

ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ප්‍රථම මාධ්‍ය දඩයම ඇරඹුණේ එජාප ආණ්ඩුවේ පැත්තෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස බැංකු නිලධාරියෙකු සහ දිවයින දිනපතා පුවත්පතේ වමේ කථාව නමින් ලිපි පෙලක් ලියූ ප්‍රවීණ ලේඛක සහ නිදහස් මාධ්‍යවේදී එච්.ඊ. දයානන්ද මහතා වෙඩි තබා ඝාතනය කරන ලදී. ඒ 1988 දෙසැම්බර් 02වැනිදා කොම්පඤ්ඤවීදියේ මාර්ක් ෆේඩ් ඉන්ධන පිරවුම්හල අසළදීය. එමෙන්ම පුවත්පත් මාධ්‍යවේදීන් ගණනාවකට තහංචි සහ තර්ජනද බෝම්බ ගැසීම්ද එජාප ආණ්ඩුව මගින් සිදු කරන ලදී.

ආණ්ඩුවේ පුවත්පත්, ආණ්ඩුවේ රූපවාහිනිය සහ ගුවන් විදුලිය ජන ජීවිතයට අතිශයින් හානිකර වූ සන්නිවේදන මාධ්‍යයන් බව ප්‍රකාශ කරමින් එය තහනම් කිරීමේ නියෝගයක් 1988 මැයි මස දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය මගින් නිකුත් කරන ලදී. ලේක්හවුස් පත්තර තහනමින් පසු දිනමිණ ඇතුළු එම පත්තර විකිණූ ඒජන්තවරුන් සහ බෙදාහැරිය පුද්ගලයින් 27ක් රට පුරා ඝාතනයට ලක් විය. ලේක්හවුස් අළෙවිය මුළුමනින් කඩා වැටුණද එහි නියෝජ්‍ය බෙදාහැරීමේ කළමනාකරු තිලක් සේනානායකගේ උපක්‍රමයන් හේතුකොටගෙන එය යම් තරමකට පවත්වා ගෙන යෑමට ලේක්හවුස් ආයතනයට හැකි විය.

ආණ්ඩුවේ රූපවාහිනිය සහ ගුවන්විදුලිය, එනම් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රියාකාරිත්වය මුළුමනින් වාගේ අඩපණ කිරීමට දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය සමත් විය. රූපවාහිනියේ සහ ගුවන්විදුලියේ වැඩ කරන සේවකයින්ට ජවිපෙන් තර්ජන එල්ල වී තිබූ බැවින් ඔවුන්ට සේවයට වාර්තා කිරීමේ නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබිණි. සේවයට වාර්තා කලහොත් ඔවුන් ඝාතනය කරන බවට දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නිවේදනය කළේය. එම තත්ත්වය හේතු කොට ගෙන ආයතන අකර්මණ්‍ය විය. ඇතැම් සේවකයෝ රැකියාව අත්හැර ගියහ.

රූපවාහිනි රාත්‍රි ප්‍රවෘත්ති සහ ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අසන ප්‍රේක්ෂකයින්ට සහ ශ්‍රාවකයින් ඝාතනය කිරීමට තීරණය කර ඇති බව දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නියෝගයක් මගින් ප්‍රකාශයට පත් කළේය. එයට අවනත නොවී ගුවන්විදුලිය සහ රූපවාහිනියේ ඇසූ සහ නැරඹූ පුද්ගලයින් 219 දෙනා රට පුරා ඝාතනය කර තිබිණි. එමෙන්ම ඇතමුන් තවදුරටත් තමන් රූපවාහිනී සහ ගුවන්විදුලිය භාවිතා නොකරන බවට සන්නද්ධ කැරලිකරුවන්ගේ නියෝග තු‍ණ්ඩු අනුව බැනර් සහ පුවරු නිවසේ ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබිණි.

මේ අනුව රජයේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය හමුදා පාලනය යටතට ගැනීමට එජාප ආණ්ඩුව තීරණය කළේය. රූපවාහිනී ඇතැම් ප්‍රවෘත්ති නිවේදකයින් බවට පත් වූයේ හමුදා සෙබළුන් සහ සෙබළියන්ය. ගුවන්විදුලිය සහ රූපවාහිනිය ප්‍රධාන සහ ප්‍රාදේශීය කාර්යාල වලට දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.

රට පුරා ජවිපෙ කැරලිකරුවන් විසින් තුවක්කුවෙන් මෙහෙයවන ලද මහා බස් වැඩ වර්ජනයක් 1989 ජුනි 12වැනිදා ආරම්භ වූ අතර එය මෙහෙයවන ලද්දේ ජවිපෙට සම්බන්ධ කම්කරු සටන් මධ්‍යස්ථානය මගිනි. රුපියල් 2,500ක මාසික වැටුප් වර්ධකයක් ඉල්ලා ඇරඹූ එම වර්ජනය ජයග්‍රාහීව නිමාවට පත් වූයේ ජුලි 13වැනිදාය. බස් වර්ජනය නිමාවන විට මරණයට පත්ව සිටි ලංගම සේවකයින් ගණන 117කි.

විජයදාස ලියනාරච්චි ඝාතනයට විරෝධය පළ කිරීම ඇතුළු විවිධ අවස්ථාවන්හිදී ජවිපෙ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ ඒකාබද්ධ අණ දෙන මූලස්ථානය මගින් නිල නොවන ඇඳිරි නීතියක්ද රටේ දිස්ත්‍රික්ක 19ක විටින් විට ක්‍රියාත්මක විය. ජවිපෙ ඇඳිරි නීතිය පැනවූ දිනයන්හි රාජ්‍ය පාලනය මුළුමනින් අකර්මණ්‍ය විය. ලේක්හවුස් පුවත්පත්ද තහනම් කර තිබූ බැවින් රජයේ සියලු තොරතුරු ජනතාවට ගෙන ගියේ රූපවාහිනිය සහ ගුවන්විදුලිය මගිනි. ගුවන්විදුලිය සහ රූපවාහිනිය තහනම් කිරීමට කටයුතු කළේ එබැවිනි.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තහනම් නියෝග නොතකා ගුවන්විදුලිය සහ රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමට සහාය දෙන නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දේශදෝහීන් ලෙස සලකා ඝාතනය කිරීමට තීරණය කරන ලදී. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායක සමන් පියසිරි ප්‍රනාන්දුගෙන් එම ඉල්ලීම කරන ලද්දේ ජවිපෙ තෙවැනි නායකයා බවට නිල නොවන මට්ටමින් පත්වී සිටියේ සංස්කෘතික අංශයේ ප්‍රධානියාද වූ ඩී.එම් ආනන්ද විසිනි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ඩී.එම් ආනන්ද ඒ වන විට බස්නාහිර සහ සබරගමු කලාපයේ දේශපාලන ලේකම් වූ අතර ශිෂ්‍ය, කාන්තා, භික්ෂු අංශ පමණක් නොව සංස්කෘතික අංශයේද නායකයා ඔහු විය. සංස්කෘතික අංශයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඔහුගේ දෙවැනියා වූ මහානාමය. ප්‍රේමානන්ද හිමි නමින් පේරාදෙණිය සරසවියේ සිසුවෙකුව සිටි ඔහුගේ ගිහි නම උපාලි ගමගේය.

රට පුරා කලාප 5ට ජවිපෙ යුධ ලේකම්වරුන් පත්කර තිබිණි. ඒ අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම පළාත්වල යුධ ලේකම්වරයා වූයේ එච්.බී. හේරත්ය. බස්නාහිර, සබරගමු සහ දකුණු කලාපයේ යුධ ලේකම්වරයා වුයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අණදෙන නිලධාරියා වූ සමන් පියසිරි ප්‍රනාන්දුය. උතුරු මැද පළාතේ යුධ ලේකම්වරයා වුයේ ලලිත් විජේරත්නය. ජවිපෙ සංස්කෘතික අංශයේ දෙවැනියා වූ මහානාම අදාල ඝාතන ලැයිස්තුව සන්නද්ධ අංශය වෙත ලබාදීමේදී තීරක කාර්යය සිදු කරනු ලැබීය.
කොළඹ දිස්ත්‍රික්කයේ කිරුලපන, වැල්ලවත්ත, නුගේගොඩ, දෙහිවල සහ කොළඹ කොටසක ඒ වන විට සන්නද්ධ නායකයා වූයේ පතී නොහොත් ළමයාය. පසුව ඔහු ගම්පහ සන්නද්ධ නායකයා විය.

දේශපාලන අංශයේ නායකයා වූයේ සමරේය. තෙවන පෙල නායකයෙකු වූ හක්මන සුසිල්ද සුවිශේෂ කාර්යභාරයක් ඒ සඳහා ඉටු කළේය. කොළඹ දිස්ත්‍රික්කය තුළ මැගසින් බන්ධනාගාරය බිද 1988 දෙසැම්බර් 12 දා ජවිපෙ සැකකරුවන් පැහැර ගැනීම, 1989 ජනවාරි 15වැනිදා කටුබැද්ද සහ වැල්ලවත්ත විශාල බැංකු මංකොල්ලයන්, එජාපයේ ඉහළ පෙළේ නායකයින් ඝාතනය කිරීමෙන් කොළඹ සන්නද්ධ අංශය ඉහළතම ශක්තිය පෙන්වා තිබිණි.

සන්නද්ධ අංශයේ නායකයා වූ සමන් පියසිරි මොරටුවේ පදිංචිකරුවෙකු වූ අතර ඔහුට වැඩිමහල් සහ බාල සොහොයුරියන් දෙදෙනෙකු විය. රාගම සෝමේ 71 කැරැල්ලට අසුවී 1976 දෙසැම්බර් මසදී කෙලී සේනානායක, උපතිස්ස ගමනායක සහ සෝමවංශ අමරසිංහ සමඟින් නිදහස් වූවෙකි. ගම්පහ පහළගම පදිංචිකරුවෙකු වූ ෂෙල්ටන් රාජපක්ෂ පසු කාලයේදී ආරක්ෂක කඳවුරුවලට පහරදී ආයුධ ලබාගැනීමේදී නායකත්වය ගත් අතර කලක උතුරු මැද සන්නද්ධ නායකයා විය.

ජවිපෙ මගින් දේශදෝහීන් බවට නම් කල මාධ්‍යවේදීන්ට ප්‍රථම පියවර වශයෙන් මරණ දඬුවම් නියෝගය ලිපි මගින් දැනුම් දෙන ලදී. එයට ප්‍රතිචාරයක් වශයෙන් බොහෝ දෙනා අදාළ රාජකාරිවලින් ඉවත්වූ අතර සෙසු අය සිය මාධ්‍ය වෘත්තියෙහි තර්ජන නොතකා සේවය කළේ එය සිය එකම ජීවිකා වෘත්තිය එය වූ බැවිනි.

ප්‍රථමයෙන් වෙඩි තබා මරා දමන ලද්දේ ස්වාධීන රූපවාහිනියේ නිසි බලධාරි සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති තනතුර මෙන්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරද හෙබවූ තේවිස් ගුරුගේය. ඒ 1989 ජුලි 23වැනිදාය. නාරාහේන්පිට පොල්හේන්ගොඩ පාරේ පාලම මතින් උදෑසන වෙළෙඳසැලකට තනිවම යමින් සිටියදී 65 හැවිරිදි ඔහු මරා දමා තිබිණි. තේවිස් ගුරුගේ එසේ ගියේ උදෑසන ආහාරය සඳහා ආප්ප ගෙන ඒමටය. ටී.56 ස්වයංක්‍රීය ආයුධයකින් වෙඩි තැබීම සිදුකල අතර වෙඩි උණ්ඩ 5ක් ඔහුගේ සිරුරේ විය.

දකුණු ආසියාවේ පැරණිතම ගුවන්විදුලිය වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එකල රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ අතර එහි ප්‍රථම සිංහල නිවේදකයා වුයේ තේවිස් ගුරුගේය. ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ඔහු මාධ්‍යවේදීන් අතර ඉතා ජනප්‍රිය පාලකයෙකු විය. පසුකාලීන ප්‍රකට ගුවන්විදුලි මාධ්‍යවේදීන් වූ බොහෝ දෙනාගේ ගුරුවරයා ඔහුය. තේවිස් ගුරුගේ ආදානය බොරැල්ල කනන්තේදී 1989 ජුලි 25වැනිදා සිදු කල අතර එහිදී අධ්‍යාපන සහ සංස්කෘතික ඇමති විජමු ලොකුබණ්ඩාර, කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි, මුස්ලිම් පල්ලියේ අල්හාජ් එම්.එච්. ෂාවුල් හමීඩ් පූජකතුමා, ක්‍රිස්තියානි මණ්ඩලයේ ෆීලික්ස් ප්‍රේමවර්ධන, ගුවන්විදුලියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් හඩ්සන් සමරසිංහ ගුණකථන සිදුකරන ලදී.

සූරියමල් ව්‍යාපාරයෙන් දේශපාලන ව්‍යාපාරයට එක්වූ ජේ.ඊ ගුණසේකර වෘත්තියෙන් ගුරුවරයෙකි. ජනප්‍රිය ලේඛකයෙකි. කෘතහස්ත පරිවර්තකයෙකි. නිදහස් මාධ්‍යවේදියෙකි. අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේ ජීවත්වූ වූ ගුණසේකර කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පුවත්පතටද ක්‍රියාකාරියකු ලෙසින් දායක විය. ළමා සාහිත්‍ය නංවාලීමේ පුරෝගාමියෙකු වූ ඔහුගේ ළමා කථාවල පරිවර්තනයන් රුසියන් භාෂාවට පවා නගා තිබිණි. ටී.56 ස්වයංක්‍රීය තුවක්කුවකින් කැරලිකරුවෝ ඔහුට වෙඩි තබා මරා දමා තිබිණි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘවරයා වූ කුලසිරි අමරතුංග වෙඩිතබා ඝාතනය කළේ 1989 අගෝස්තු මස 13වැනිදාය. ඒ රත්මලානේ ධර්මාරාම පාරේ සිය නිවසේ උදෑසන 8.35ටය. කැරලිකරුවන් දෙදෙනෙකු නිවසට ඇතුළු වී දුරකථනයේ වයර් කපා උරයේ එල්ලා තිබූ බෑගය ඇර මිලිමීටර් 7 රිවෝල්වරයකින් ඔහුට වෙඩි තබා මරා දමා තිබිණි. සන්නද්ධ තුවක්කුකරුවන් පැමිණෙන විට කුලසිරි අමරසිංහ පුවත්පතක් බලමින් සිටි අතර වෙඩි තැබූ පසු කැරලිකරුවන් පාපැදියක නැගී කෙටි දුරක් ගොස් යතුරුපැදිවලට නැග පලා ගියහ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු වශයෙන් සේවය කල ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ කුලසිරි අමරතුංග මිය යන විට 55හැවිරිදිය. එතෙර රටවල් ගණනාවක ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔහු සේවය කර තිබිණි. ලාංකේය රේඩියෝ නාට්‍ය කලාවේ පදනම ශක්තිමත් කල ඔහු නෙවිල් ජයවීරගේ සරසවි මිතුරෙකුද විය. ඉතිහාසය සහ දර්ශනවාදය පිළිබදව ඔහුට පුළුල් දැනුමක් තිබිණි. ගුවන්විදුලිය තරංගනී සඟරාවේද කලක ඔහු කතුවරයා වශයෙන් සේවය කළේය.

රූපවාහිනී නිවේදිකාවක් වූ වරදට සාගරිකා ගෝමස්ටද අත් වූයේ මරණ දඬුවමයි. ඇය 1989 සැප්තැම්බර් 13වැනිදා රාත්‍රි 8.10ට නිවසින් පැහැර ගෙන ගිය අතර පසුව රත්මලානේ මුහුදු පාරේ ඔළුවට ටී.56 ස්වයංක්‍රීය අවියකින් වෙඩි තබා බෙල්ලට පිහියෙන්ද ඇන ඝාතනය කර මුහුදට දමා ගොස් තිබිණි. ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍ය ඒ.ජේ රණසිංහ ටවර් හෝල් රඟහලේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කිරීමේදී ඇයට එහි රැකියාව හිමි විය. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ගම්උදාවේද ඇය ගී ගැයීමට ගියාය. ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ අධ්‍යාපනය ලත් ඇයගේ දෙමාපියන් වූයේ සැම්සන් සහ රූපා ගෝමස්ය. ඔවුන්ට දරුවන් 5 දෙනෙකු වූ අතර චාන්දනී සාගරිකා ගෝමස් උපන්නේ 1961 ඔක්තෝබර් 10වැනිදාය.

ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ශිල්පිනියක වූ ඇය ගුවන්විදුලියේ විකාශනය වූ වසුන්දරා නාට්‍යයේ වසුන්දරාය. ගොළු මුහුදේ සුමේධාය. මිහිරි වේදනා නාට්‍යයේ රසිකාය. තේවිස් ගුරුගේ ඝාතනයෙන් පසු ඇය ගුවන්විදුලියෙන් ඔහු පිළිබඳව වැඩසටහනක්ද කරන ලදී. ප්‍රේමකීර්ති ඝාතනය වූ අවස්ථාවේදී එම ප්‍රවෘත්තිය නිවේදනය කළේද සාගරිකාය. ජවිපෙ තහනම නොතකා ගුවන්විදුලිය සහ රූපවාහිනියේ ප්‍රවෘත්ති කියවන ලදි. පදිංචිව සිටියේ දෙහිවල කරගම්පිටියේය. ඇය විවාහ වීමට සිටියේ හමුදාවේ මේජර්වරයෙකු සමඟය. ප්‍රේමදාස ජනාධිපතිවරයාද දේහයට ගෞරව දැක්වීමට පැමිණි අතර අවසානයේ සාගරිකාගේ සොහොයුරාට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ රැකියාවක් ලබාදුණි.

ඉන්දියාවේ දිල්ලි තානාපති කාර්යාලයේ මාධ්‍ය ලේකම් වශයෙන් එවකට කටයුතු කරමින් සිටි රවිනාථ ආරියසිංහද ඝාතනය කිරීමට සූදානම් වූවද ඒ වන විටත් ඔහුගේ පුතාද රැගෙන රමේෂා බාලසූරිය කැලණිය නිවස අතහැර බම්බලපිටියේ මහගෙදරට පැමිණ තිබිණි. එකල ඇය සේවය කලේ යුනිසෙෆ් සංවිධානයේ කොළඹ කාර්යාලයේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙසිනි. කැලණියේ නිවසට පැමිණි කැරලිකරුවන් නියෝගය දන්වා තිබුණේය.

ගුවන්විදුලියේ සිවි දෙනෙකු ජවිපෙ ඝාතන ලැයිස්තුවේ විය. ඒ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් හඩ්සන් සමරසිංහ, ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානි පාලිත පෙරේරා, වැඩසටහන් නිෂ්පාදක ප්‍රේමකීර්ති ද අල්විස්, ගුවන්විදුලි පුහුණු ආයතනයේ වසන්ත ලංකාතිලකය. මරණ තර්ජන වලින් බේරීමට හඩ්සන් සමරසිංහ වැල්ලවත්තේ ඔමිගා ඉන් හෝටලය ඇතුළු ස්ථාන කිහිපයක නවාතැන් ගත් අතර පාලිත පෙරේරා රුක්මල්ගම සිය නිවස අතහැර ගොස් තිබිණි. වසන්ත ලංකාතිලක දෙමටගොඩ නිවසින් බැහැර විය. ප්‍රේමකීර්ති ද අල්විස් පමණක් සිය වාසස්ථානය වෙනස් නොකලේය. පාලිත පෙරේරා නෑකමින් ප්‍රේමකීර්තිගේ බාප්පාය. රජරට සේවයේ සිට කොළඹට පැමිණි ප්‍රේමකීර්ති විසින් සිදු කල ප්‍රවෘත්තිමය වැඩසටහන සහ රූපවාහිනි සැරිසර වැඩසටහන එකල අතිශයින් ජනප්‍රිය විය.

ප්‍රේමකීර්ති අල්විස් ශ්‍රී ලංකාවේ බිහිවූ සියලු හැකියාවකින් පරිපූර්ණ මාධ්‍යවේදියෙකි. ලියුම්කරුට ඔහු සමකල හැක්කේ බණ්ඩාර කේ විජේතුංගයන් සමඟ පමණි. එකල ප්‍රේමකීර්ති සහ බණ්ඩාර විජේතුංග ඇතුළු ගුවන්විදුලි සහ සිනමා කලාකරුවන් සමඟ නාරාහේන්පිට රන්දෝලියේ සහ නුගේගොඩ පුබුදුහි නිරතුරුව ගතකල සොඳුරු සැදෑවන් ලියුම්කරුට තවමත් මතකය. අපි තිදෙනාම ආදි ආනන්දයන්ය. මරදානේදී 1947 ජුලි 03වැනිදා උපන් ප්‍රේමකීර්තිගේ පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ඝාතනය වන විට දෙදරු පියෙකි. සුරංගි අල්විස් දියණිය වූ අතර සහ සම්පත් අල්විස් පුත්‍රයා විය. ඔහු 1989 ජුලි 31වැනිදා පස්වරු 8.30ට ඝාතනය වන විට 42හැවිරිදිය. බිරිඳ වූයේ නිර්මලා අල්විස්ය. පුතු සම්පත්ගේ වයස ඒ වන විට මාස 11කි.

නිවසින් පැහැර ගත් ප්‍රේමකීර්ති ද අල්විස් ප්‍රශ්න කිරීම සඳහා යැයි කියමින් කැරලිකරුවන් ඔහු මහ මගට ගෙන ගොස් හෝමාගම හන්දියට යාබදව ස්වයංක්‍රීය අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් 1992 දෙසැම්බර් 17වැනිදා කොළඹ මහාධිකරණය සමන් ප්‍රියංකර ගමගේ නැමති පුද්ගලයෙකුට දඬුවම් ලබාදී තිබේ. සමන් ප්‍රියංකර ගමගේට ඒ අනුව බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.

මේ කලාකරුවන්ගේ ඝාතන සියල්ලම සිදුවූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සැලසුමකට අනුවය. සංස්කෘතික අංශයේ මහානාමගේ නිර්දේශයෙන් ඩී.එම්. ආනන්දගේ උපදෙස් අනුව සමන් පියසිරි නොහොත් කීර්ති විජේබාහුගේ නියෝගයෙන් බවට පත් විය. කොළඹ මිල්ටරි නායක පතී විසින් එය ක්‍රියාවට නැගුවේ කල්ප සහ රුවන් යන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ කේඩර්වරුන ගේ මෙහෙයවීමෙනි. අදාළ ස්ථානයන්හිදී ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන්ගේ, තොරතුරු සහ මඟ පෙන්වීම අනුව ඒවා ක්‍රියාවට නැගිණි. තර්ජන හමුවේ ආරක්ෂිත පියවර ගත් මාධ්‍යවේදීන් පමණක් සිය දිවි බේරා ගැනීමට සමත් විය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: